පුරවරයේ ඉතිහාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇති රිදීගම, කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 18ක් පමණ ඊසාන දෙසින් පිහිටි සන්සුන් නගරයකි. පොහොසත් සංස්කෘතික උරුමයන් සහ රමණීය පරිසරය සඳහා ප්‍රසිද්ධ රිදීගම ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවෙන සැලකිය යුතු ථෙරවාදී බෞද්ධ අඩවියක් වන අතර එහි ඓතිහාසික රිදී විහාරය පිහිටා ඇති අතර එය Silver Temple ලෙසද හැඳින්වේ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑ මහා සෑය ඉදිකිරීමේදී රිදීලෙන තුළින් රිදී ලබාගත් බව මහාවංශයේ සඳහන් වේ වෙළෙන්දෙක් මෙම ලෙන පාමුල ගැල නවතා කන්ද මුදුනට නැගි කල්හි, එක් වරකා ගසක ඉදුණු වරකා ගෙඩියක් දැක, එය කඩා මෙයින් සංඝයාට දන්දී කෑ යුතු යැයි සිතා කාල ඝෝෂා කල කල්හි, රහතන් වහන්සේ සතර නමක් අහසින් වැඩම කල පසු එම වරකාව කපා වරකා පැහි පූජාකල පසු, උන් වහන්සේ අතුරුදහන් වී ඇත. නැවතත් ඝෝෂා කල කල්හි තවත් සතර නමක් වැඩම කල පසු උන් වහන්සේලාටද වරකා මදුලු පූජා කොට ඇත. එතැනදී එක් නමක් ඉතිරිව සෙසු තිදෙනා වහන්සේලා ආපසු වැඩම කර ඇත. නැවතුන රහතන් වහන්සේ මෙම ගල්ලෙන තුළ වැඩ හිඳ වරකා වළඳා ඒ ලෙන අසලින් ගිය වෙළෙන්දාට පෙනෙන සේ ලෙන පෙන්වා අතුරුදන් වී ඇත. කන්දට ගිය වෙළෙන්දාට ලෙන තුළින් ඇදී ආ රිදී ගොඩක් දක්නට ලැබී ඇත. එය කඩුවෙන් කපා බලා රිදී බව දැනගත් පසු එයින් කැබැල්ලක්ද රැගෙන රජතුමා හමුවට ගොස් පුවත සැළකල පසු රුවන්වැලි ස්ථූපයේ වැඩ සඳහා එම රිදී කොටස යොදා ගත්බව කියැවේ. එම ස්ථානයේ විහාරයක්ද කරවා පසුව වළගම්බා මහ රජු කල තවදුරටත් වැඩි දියුණු කර ඇත. මහනුවර රාජධානි කාලයේදී ද මෙය තවදුරටත් වැඩි දියුණු කර ගම් බිම් පූජා කරදී ඇත. තවද දුටුගැමුණු රාජ්‍ය සමයේදී එතුමා අනුරාධපුරය දක්වා ගිය ගමන් මාර්ගයක්ද මෙම ප්‍රදේශය ඔස්සේ වැටී තිබුණු බවක් සඳහන් වේ. කුරුණෑගල රාජධානි සමයේදී ලියවුණු සිංහල බෝධි වංශයත්, සඳකිඳුරුදා කවත් රචනා කල විල්ගම්මුල තෙරණුවෝ මෙම ස්ථානයෙහි වැඩ විසු බවට සාධක ඇත. රිදීගම ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමින් යුත් රිදී විහාරස්ථානය, සැගෑලෙන, කොරොස්ස විහාරය, ජාකඩුලෙන, රම්බඩගල්ල විහාරය, විල්ගම් විහාරය, බ්‍රාහ්මනාරාමය, ගල්පාය, පෙත්මගයය, යාම්ලෙන විහාරය ඓතිහාසික තොරතුරුවලින් යුක්ත වේ. සඳකිඳුරුදා කාව්‍යයෙහි එන රන්ගිරිසර අසල යන කවියට අනුව එම රන්ගිරිසර, ස්වර්ණගිරි විහාරය වශයෙන්ද එය දැනට රම්බඩගල්ල යනුවෙන්ද පෙත්මගයය පුරාණ විහාරය බවද විශ්වාස කරයි. මොරතිහ කඳු මුදුනේ බිසෝගල් කන්දේ බිසෝවරුන් සිටි මාලිගයක්ද වූ බව සඳහන් වේ. රිදීගම පත්තිනි දේවාලයත්, කුමාර බණ්ඩාර දේවාලයත්, ජංකුරේ විෂ්ණු දේවාලයත්, අක රගනේ දේවාලයත් ඉපැරණි දේවස්ථාන වන අතර ඒවායේ වාර්ෂික මංගල්‍ය හා පෙරහැර පැවැත්වේ. කෘෂිකාර්මික ආර්ථික ක්‍රමවේදය මත පදනම්ව මාදුරේ කෝරල ප්‍රදේශයෙහි "මාදැක්තා" නම් විශාල වැවක් තිබී ඇති බවට ජනප්‍රවාදයන් පවතී. දැදුරු ඔය හරස් කර විශාල වේල්ලක් ඉදිකර තිබෙන්නට ඇත. රන් තැටියක් පාවී ආ හෙයින් රන්තැටිකන්ද යනුවෙන්ද, ඔරුවක් ගිලුණු තැන බාබුරුව යනුවෙන්ද නාම සැදී ඇති සැටියෙන් ඒ බව සනාථ වේ. කඳු මුදුන්වල ඔරු බැඳ තිබූ තැන්ද දක්නට ඇත. මෙම ජලාශය විශාල ප්‍රදේශයක පැතිරී තිබෙන්නට ඇත. එබැවින් මෙම ප්‍රදේශය කෘෂිකාර්මික ප්‍රදේශයක් වශයෙන් සරුසාර වී තිබෙන්නට ඇතැයි විශ්වාස කල හැක.

Feedback
Scroll to Top