ඒ.ඩී,සුමනදාස (සභාපති)

                                                      රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ඔබ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි.

රිදීගම ප්‍රාදේශීය සභාවේ අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා නවීන තාක්ෂණය හා සම්පත් උපරිමයෙන් යොදා ගැනීමයි. ප්‍රජා සුඛවිහරණය, සුභසාධනය සහ සියලු පොදු පහසුකම් ආරක්ෂා කරමින් හා ඒවා ප්‍රවර්ධනය කරමින්, පරිසර හිතකාමී සංවර්ධනයක් හරහා ඔබ සැමට යහපත් ජීවන වටපිටාවක් උදා කර දීමට අප ඇප කැප වී සිටිමු. අපගේ මෙම වෙබ් අඩවිය ඔස්සේ ප්‍රාදේශීය සභාවේ සේවාවන්, නිවේදන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඔබට ලබා ගත හැකි අතරම, ඔබේ අදහස් හා යෝජනා අප වෙත යොමු කිරීමට ද මින් ඉඩ ප්‍රස්තාව සැලසේ.

රජයේ ජාතික වැඩපිළිවෙළ වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන සංකල්පයට අනුකූලව, රිදීගම ප්‍රාදේශීය සභාව තිරසාර සංවර්ධනයේ නියමුවා ලෙස ජනතා සහභාගිත්වය සහ විවෘත පාලනය අගයමින් සිය ගමන් මග සකසා ගනී. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ දක්වන සහයෝගය අප ලබන විශාලතම ශක්තියයි. එම විශ්වාසය මත පිහිටා, ජනතාවට වඩාත් කාර්යක්ෂම හා යහපත් සේවාවක් සැපයීමට අප නිරන්තරයෙන් කැප වෙමු.

නවීන තාක්ෂණය භාවිත කරමින්, අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති, සමාජ සත්කාරක වැඩසටහන් සහ දෛනික පරිපාලන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු ඔබ වෙත සමීප කිරීම අපගේ වගකීමක් ලෙස සලකමු. විනිවිදභාවයෙන් යුතු, ජනතාවාදී ප්‍රාදේශීය සභාවක් ලෙස රිදීගම බලප්‍රදේශය දියුණුවේ මාවත කරා රැගෙන යාමට අප සැවොම එක්වෙමු.

ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි!

Feedback
Scroll to Top